Pages

Subscribe:

Wednesday 17 February 2016

රැකියා ඉල්ලූ උපාධිධාරීන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් ඊයේ (16) කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකින් අනතුරුව පිරිස පා ගමනින් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ
 කිරීමේදී ‍පොලිස් කැරලි මර්දන ඒකකය විසින් සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිටදී කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හරින ලදී. මෙම විරෝධතාව පස්වරු 12.30ට පමණ කොළඹ කොටුව දුම්රියපළෙන් ආරම්භ වී සෙරමික් හන්දියෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටි අතර මෙයට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන් 1000කට ආසන්න පිරිසක් එක්වූහ.
විවිධ උද්ඝෝෂණ පාඨ හුවා දක්වමින් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. සියලු ඉල්ලීම් ඇතුළත් ලිපියක් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමට රැගෙන ආ අතර එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “අපි මාසයක් තිස්සේ අට්ටාල ගහගෙන අව්වේ වැස්සේ දුක් විඳලා රැකියාවක් ඉල්ලලා අරගල කරලා කොළඹට ආව පස්වෙනි වතාව මේක. අපි පසුගිය මාසයක් තිස්සේ යාපනය, මඩකලපුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක රට වටේම ගියා.
ඒ ගියේ වෙන මොකටවත් නොවෙයි. අගමැති, ජනාධිපති ‍පොරොන්දු වුණා රැකියා විරහිත උපාධිධාරීන් 30000කට රැකියා දෙනවා කියලා. ඒත් ඒ අය මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අපි පාරට බහිනකම් ඉන්නවා. ඒ නිසා අපි අද ආවේ යන්න නොවෙයි. මේ ප්‍රශ්නෙට උත්තරයක් අරන් මිසක් යන්නෙ නැහැ. දැන් අපි අගමැති කාර්යාලයට යනවා.
දැන් ‍පොලිසිය ඇවිත් කියනවා සාකච්ඡාවකට යන්න කියලා. අපිට සාකච්ඡාවලින් වැඩක් නැහැ. මේ සඳහා ලිඛිත පිළිතුරක් අවශ්‍ය වෙනවා. උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා අද ජනාධිපතිතුමා රට ගියේ. අපිට ඕනෙ කවදද බඳවා ගන්නේ කියලා දැන ගන්න විතරයි. ඒ දිනේ දෙනකම් අපි යන්නෙ නැහැ.
අනතුරුව මෙම පිරිස පාගමනින් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත යාමට සූදානම් වූහ. එහිදී ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියෙක් පැමිණ ජනාධිපති ‍ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රදේශයට ඇතුළුවීමට අධිකරණය මගින් තහනම් නියෝගයක් ලබාගෙන ඇති බවත් ඒ නිසා පිරිස අදාළ ස්ථානයේ විරෝධතාව දක්වා විසිර යන ලෙසත් ඔවුන්ට දන්වා සිටියේය.
එහෙත් විරෝධතාකරුවන් එම අදහස ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් සඳහන් කර සිටියේ ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත තමන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපිය භාරදීමට යන බවත්ය.
එහෙත් ‍පොලිසිය එයට ඉඩ නොදුන් අතර ‍පොලිසිය විසින් එහිදී විරෝධතාකරුවන්ට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව අනුව සිය ඉල්ලීම් සහිත ලිපිය අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයාට ලබාදීමට අවස්ථාවක් ඇති බවත්ය. එහෙත් එයට එකඟ නොවූ විරෝධතාකරුවෝ පසුව සිය විරෝධතාව දක්වමින් ඉදිරියට ඇදී ලෝටස් වටරවුම ඔස්සේ ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත ඇතුළුවීමට පැමිණියහ. ඒ වන විටත් ‍පොලිසියේ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් මාර්ග බාධක යොදවමින් ඉදිරියට පැමිණෙන පිරිස නවතාලීමට සූදානම්ව සිටි අයුරු දැක ගන්නට ලැබුණි.
පැමිණි විරෝධතාකරුවන් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් සමග මෙහිදී බහින්බස් වෙමින් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර එහිදී විරෝධතාකරුවෝ මාර්ග බාධක ඉවත් කරමින් ‍පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන්නට වූහ.
එහිදී ‍පොලිස් නිලධාරීන් විසින් අධිකරණයෙන් ලබාගත් තහනම් නියෝගය දිගින් දිගටම පෙන්වූ අතර එහෙත් එම ලිපිය විසි කරමින් ඔවුහු බලහත්කාරයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත පැමිණෙන්නට උත්සාහ කරන්නට වූහ.
එහිදී ‍පොලිස් නිලධාරීහු ජල ප්‍රහාර එල්ල කළහ. එහෙත් එම ප්‍රහාරය මාධ්‍යවේදීන්ට එල්ල විය. මේ නිසා මාධ්‍යවේදීහු දැඩි අපහසුතාවකට පත් වූහ. ඉන් අනතුරුව දෙවන ප්‍රහාරය විරෝධතාකරුවන්ට එල්ල වූ අතර විරෝධතාකරුවෝ එහිදී විසිර යන්නට වූහ. ඉන් අනතුරුව කඳුළු ගෑස් ප්‍රහාර කිහිපයක් ද ‍පොලිසිය විසින් එල්ල කරන ලදී.
මෙම අවස්ථාවේදී කඳුළු ගෑස් හේතුවෙන් ශ්වසන ආබාධයට පත් මාධ්‍යවේදියකුද රෝහල්ගත කරන ලදී. මෙම ගැටුම විනාඩි 25ක් පමණ පැවැති අතර  විරෝධතාකරුවෝ දැඩි අපහසුතාවකට පත් වූහ. මෙම අවස්ථාවේදී විරෝධතාකරුවන්ගෙන් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි අයකු අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් අනතුරුව විරෝධතාකරුවන් ලෝටස් වටරවුම වෙත පැමිණ කෑ කෝ ගසමින් විරෝධතාව දැක්වූහ. ඉන් අනතුරුව විරෝධතාකරුවෝ කොටුව ලංගම බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණ අඛණ්ඩ උපවාසයට සූදානම් වූහ. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද උද්ගත විය.
අනුෂිකා ගුණරත්න / තරංගා ජයමාලි.

0 comments:

Post a Comment

 
Blogger Templates