Pages

Subscribe:

Monday 4 July 2016

බංග්ලාදේශ ප‍්‍රහාරයෙන් දිවි බේරාගත් ලංකාවේ ව්‍යාපාරික යුවළ

බංග්ලාදේශ ප‍්‍රහාරයෙන්
දිවි බේරාගත් ලංකාවේ ව්‍යාපාරික යුවළ

තවම කම්පනයෙන් රෝහලේ

පසුගියදා බංග්ලාදේශයේ ඩකා නුවර අවන්හලක සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා ප‍්‍රාණ ඇපයට ගෙන බේරාගත් පිරිස අතර ශ‍්‍රී ලාංකික යුවළක්ද විය. එම දෙදෙනා බංග්ලාදේශයේ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ අඹුසැමි යුවළක් වන අතර එහි කාලයක් තිස්සේ පදිංචිව සිටින අය බව කියැවේ.
පුරුද්දක් ලෙස හෝලි ආටිසන් නමැති ඉතාලියානු අවන්හලේ රාත‍්‍රී ආහාරය ලබාගැනීමට එම දෙදෙනා බොහෝ දිනවල යන එන බව පැවසේ. සිද්ධියවූ දවසේත් ඔවුන් රාත‍්‍රී භෝජනය සඳහා එහි ගොස් ඇත්තේ රාත‍්‍රී 9 ට පමණය. ඇතැම් දිනවල එතරම් රෑ බෝවි එම ස්ථානයට නොයා කල් ඇතිව රාත‍්‍රී ආහාරය ලබාගෙන පිටවන නමුත් සිද්ධිය දවසේ කිසියම් කටයුත්තක් යෙදුණ නිසා ඔවුන්ට යන්නට සිදුව තිබුනේ ඒ වේලාවටය.

ත‍්‍රස්තයින් එම ස්ථානය වටළා තිබුනේ රාත‍්‍රී 9.30 ට පමණය.
මේ නිසා මෙම යුවළට ගැලවීමක් නොවුණි.
ත‍්‍රස්ත ග‍්‍රහණය නිසා ඔවුන්ට එම ස්ථානයේ පසුදා උදේ 8 පමණ වනතුරු භයානක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. තමන් ඉදිරිපිට එකින් එක්කෙනා මරා දමමින් අහසට වෙඩි තබමින් යක්ෂයින් ලෙස හැසිරෙන පිරිසක් නිසා ජීවිතයේ කිසිදු දිනෙක අත්නොදුටු අත්දැකීමක් ඔවුන්ට අත්විඳින්නට සිදුවිය. අවසන් මොහොත වනතුරු ඔවුන් ගත කළේ ජීවිතය නැතිවේය යන අනියත බියෙනි.
උදෑසන බංග්ලාදේශ කමාන්ඩෝ භටයින් දියත් කළ ප‍්‍රහාරයෙන් පසු ඔවුන්ගේ දිවිබේරාගෙන පිටතට එන්නට හැකි විය.
මේ වනවිට කම්පන තත්වය නිසා මෙම යුවළ රෝහල් ගත කර විවේකය ලබමින් පසුවේ. වාසනාවකට සිද්ධියෙන් ඔවුන්ට කිසිදු තුවාලයක් හෝ සිදුව නැත. බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් ඔවුන්ගේ සුවදුක් බලන්නටද ගොස් තිබේ. කෙසේ වෙතත් ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රශ්න මතුවිය හැකි නිසා ඔවුන්ගේ නම් ගම් හෙළි නොකරන්නැයි ඉල්ලා ඇත. කුරිරු ත‍්‍රස්ත ග‍්‍රහණයට හසුවී බාගෙට බාගයක් මිය ගිය මෙම සිද්ධියේදී ලංකාවේ දෙදෙනාගේ ජීවිත ආරක්ෂාවීම ගැන අපට සතුටට පත්විය හැකි නමුත් අහිංසක ජීවිත රැසක් නිරපරාදේ අහිමිවීම ගැන ඇතිවන්නේ කණගාටුවකි.

0 comments:

Post a Comment

 
Blogger Templates