Pages

Subscribe:

Saturday 20 February 2016

මහින්ද නැවත බලයට එන්නේ නෑ - ඉන්දික තොටවත්ත

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වන බවට ඔබ කී අනාවැකිය සැබෑ වුණා. මේ පරාජයට හේතුව කොහොමද ඔබ ජ්‍යොතීෂයට අනුව විග්‍රහ කරන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමාගේ බාධක ගුරුගේ
දශාවේ සෙනසුරුගේ චන්ද්‍ර අෂ්ඨම ඒරෂ්ඨකයක් තියෙද්දි වැරදී වෙලාවක මැතිවරණය කැදවීම. හැබැයි අපි වැරදි වෙලාවක කීවට විශ්වයේ සැලසුමෙන් නියමිතව තිබුණොත් ඒක වෙන්න පුළුවන්. කොහොම වුණත් මම අර මුලින්ම කීව හේතුව තමා ජ්‍යොතීෂමය හේතුව.
ඔබ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කේන්දර පෞද්ගලිකව බලලා තියෙනවද? ඒ කේන්දර සටහන් මා සතුව තිබෙනවා. ඒ කියන්නේ ඔබ බලලා තියෙනවා? ඔබ අහන්නේ ඔවුන්ගේ ආරාධනයෙන් මම බලලා තියෙනවා කියන එකද?
මම අහන්නේ ආරාධනයෙන් හෝ අනාරාධනයෙන් ඒ කේන්දර ඔබ බලලා තියෙනවද කියන එක? රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු මට එහෙම හමුවෙලා නෑ. හමුවෙන්න අවශ්‍යතාවයක් ඇතිවෙලත් නෑ.
ඒ කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔබට හමුවෙලා තියෙනවා සහ හමුවෙන්න අවශ්‍යතාවක් ඇතිවුණා කියන එකද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කේන්දර සටහන මම විශේෂයෙන් පරික්ෂා කරලා නෑ. ඒත් ඔහු මට හමුවී තිබෙනවා.
ඒ හමුවූ වෙලාවේ ඔබෙන් ජ්‍යොතීෂයට අදාළව ඔහුගේ දේශපාලන අනාගතය හෝ අන් කුමක් හෝ දෙයක් විමසුවද? නෑ. එහෙම කිසිවක් විමසුවේ නෑ. මට එතුමා හමුවුණේ ජනවාරිවල. මට එතුමාට කරන්න නිර්දේශ කිහිපයක් සහ ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඒ ගැන ඇහුවා.
ජනවාරි කීවේ 2015ද? 2016ද? 2015 ජනවාරි අග.
ඔබ මෛත්‍රී - රනිල් - මහින්ද යන තිදෙනාගේම කේන්දර සටහන් අනාරාධිතව හෝ පරික්ෂා කර ඇතිනේ. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන අනාගතය හෝ රටේ දේශපාලන අනාගතය ගැන යමක් කිව හැකිද? දේශපාලන අනාගතය ගැන නේද? මම මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනාගතය ගැන ඔබ කැමති නම් කියන්නම්.
මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනාගතය ගැන මොකද කියන්නේ? ඔහුගේ දේශපාලන අනාගතය අගරු චෙක්පතක් බවට පත්වෙලා ඉවරයි.
ඔබ ඔය ප්‍රකාශය කරන්නේ වගකීමෙන් විශ්වාසයෙන් සහ ජ්‍යෙතීෂ්‍ය අනුවද? නැත්තම් දේශපාලන විචාරකයෙක් හැටියටද? ජ්‍යෙතිෂවේදියෙක් විදිහට. එන්නෙ නෑ කිවෝත් එන්නෙ නෑම තමයි. ඒ නිසා ඔය ගැන කතා කරන එකේ කිසිම තේරුවක් නෑ. මම මේ කියන එක වෙනස් වෙන්නේ නෑ.
පහුගිය කාලයේ සමාජ වෙබ් අඩවිවල තිබුණා වත්මන් ආණ්ඩුවේ අයූෂ කෙටියි. ආණ්ඩුව කඩා වැටෙනවා. මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණෙනවා යනුවෙන් ඔබ ප්‍රකාශ කළ බව... ඒ ඇත්තද? සමහර මීඩියා යුනිට්වල පුරුද්දක්නෙ බොරු හදන එක. ඒකත් මගේ නමින් හදපු තවත් බොරුවක්. මම හිතන්නේ ඔවුන් කරන තරම් පහත් වැඩ කවදාවත් එජාපයෙන්වත් කරන්නේ නෑ. ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට වාසියි. මෝඩ ඌරෝ තලන කැකුණුවලින් මම රජමගුල් ගන්නවා. ඇයි නිකම් ඉදන් මට පබ්ලිසිටි දෙන්නේ.
ඔබේ ජ්‍යෙතිෂ විග්‍රහයට අනුව යහපාලන ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යනවද? ශක්තිමත්ව හෝ නැතුව ඉස්සරහට යනවා. මේ ආණ්ඩුවේ බලපෙරැළියේ වෙනසක් වෙන්නේ නෑ.
ඇයි ඔබ ශක්තිමත්ව හෝ නැතුව කියලා කියන්නේ? 2016 වසර තුළ සමස්ත දේශපාලන තත්ත්වයම වියවුල් බවට පත්වෙනවා. 2016 වසරේදී මේ ආන්ඩුව ෆේල්.
දේශපාලන අනාවැකි කියන්න ගිහින් ඔබට ජීවිත තර්ජන ඇතිවෙලා තියෙනවද? තවම නෑ.
සමහර දේශපාලනඥයෝ අල්ලස් හෝ සන්තෝසම් දීලා ඔවුන්ට අවශ්‍ය අනාවැකි ඔබ ලව්ව කියවාගන්න උත්සාහ කරලා නැද්ද? සමහරුන්ගේ මාධ්‍ය අංශ එහෙම අනාවැකි මා ලව්වා කියවාගන්න උත්සාහ කළා. මිලියන 100ක් දෙන්නම් අනාවැකිය වෙනස් කරන්න කියලා දුරකතන ඇමතුමක් දීලා කීවා. අවලං සුනඛ මාධ්‍ය භාවිතයෙන් තියෙන අය තමා සල්ලිවලට අනාවැකි කියවා ගන්න උත්සාහ කළේ.
රටේ ආනාගතය ගැන විග්‍රහ කළොත් ස්වාභාවික විපත්, නැවත සුනාමියක් වගේ දේවල් ලංකාවේ ඇතිවෙන්න පුළුවන්ද? විවිධ කණ්ඩායම්වල කුපිත වීම් හා අවේගශීලි හැසිරීම් නිසා ලේ වැගිරීම් වැනි දේවල් මේ වසර තුළ ඇතිවෙන්න පුළුවන්. හැබැයි සුනාමි වගේ තත්ත්ව එන්නේ නෑ.
නැවත ලංකාවේ ත්‍රස්තවාදය හිස එසවීමක් හෝ සිවිල් යුද්ධයක් ඇතිවෙන්න පුළුවන්ද? ත්‍රස්තවාදයක් ඇතිවෙන්නේ නෑ. ලේ පිපාසයේ, බල පිපාසයේ ඉන්න මිලේච්ඡයන්ගේ කුපිත වීම් නිසා අසහනකාරී වාතාවරණයක් ලේ වැගිරීමක් ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන්.
ඔබට කියන්න පුළුවන්ද හරියටම ඒ කොයි කාල වකවානුවද කියලා? 2016 පෙබරවාරි සැප්තැම්බර් කාලය ඇතුළත එවැන්නක් සිදුවීමේ ඉඩක් තියෙනවා.
එවැනි ලේ වැගිරීමක් සිදුවුණොත් එය රටට හා යහපාලන ආණ්ඩුවේ ප්‍රතිරූපයට කොහොම බලපෑමක් වෙයිද? යම් තත්ත්වයක් ඇතිවී එය සමන වෙනවා. ඒ කුපිත කිරීමේ පිටුපස ඉන්න කල්ලිය බලාපොරොත්තු වෙන අරමුණ නම් සඵල වෙන්නෙ නෑ.
දැන්ට පාර්ලිමේන්තුවේ තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉදිරියට පවතිනවද? ඒ ගැටුම 2017 වෙනකම්ම තියෙනවා.
ඔබේ කේන්දරය ඔබ බලාගෙනද තියෙන්නේ? ඔව්... මම බලාගෙන තියෙන්නේ. ඒක බලලා තියෙන නිසා තමා මම මේ බය නැතුව කතා කරන්නේ. මම වෙන අධ්‍යාත්මික ගමනක් යන්න ආව කෙනෙක්. ක්‍රිෂ්ණ දර්ශනය අනුව මම වැඩ කරනවා.
ඔබට පෞද්ගලිකව දේශපාලනයක් නැද්ද? නෑ... මට පෞද්ගලිකව කිසිම දේශපානයක් නෑ.
මේ යහපාලන ආණ්ඩුවේ බිද වැටීම ගැන පසුගිය කාලයේ ඇතැම් ජ්‍යෙතීෂවේදීන් අනතුරු ඇගවීම් කරලා තිබුණා නේද? ජ්‍යෙතීෂවේදීන් නෙවෙයි රෙකෝඩ්බාර්කාරයන් නම් ප්‍රකාශ කරලා තිබුණා. ඒ ප්‍රකාශවලට උත්තර දිය යුතු නෑ.
ඔබ ඇත්තටම දේශපාලන ව්‍යාපෟතියක් කරන කෙනෙක් නෙවෙයිද? මම ව්‍යාපෟතියක් කරනවා. ඒත් ඒක දේශපාලන ව්‍යාපෟතියක් නෙවෙයි.
එහෙනම්? මගේ අධ්‍යාත්මික ගුරුවරයා සත්‍ය ශ්‍රී සායිබාබාතුමා. මගේ ජීවිතයේ සමස්ත කාලය ඉදිරියේදී වැය කරන්නේ එතුමාගේ දර්ශනය ප්‍රචලිත කරන්න. ඒතුමා මගේ ව්‍යාපෟතිය. බෙල්ලන ඥානවිමල හාමුදුරුවෝ, අබ්දුල් කලාම්වැනි උත්තමයන් පවා එතුමාගේ දර්ශණයට ගරු කළා.
ඔබ රාජපක්ෂවරු පිළිබදව අනාවැකි ගණනාවක් කීවා. ඔවුන්ට මේ ඉරණම අත්වුණේ ඇයි? එයාලා අතරින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මම ගෞරවයෙන් සලකනවා. සත්‍ය ශ්‍රී සායිතුමාට ගරු කළානම් මහින්ද රාජපක්ෂ මහත්තයා අදටත් බලයේ ඉන්නවා.
ගෝඨාභය රාජපක්ෂට ගෞරවයෙන් සලකන්න හේතුව?රාජපක්ෂවරු අතරින් හොද රාජපක්ෂ කෙනෙක් ඉන්නව නම් ඒ ගෝඨාභය රාජපක්ෂ විතරයි. මම දෙවරක් නොහිතාම ඔහු හොද රාජපක්ෂ කෙනෙක් ලෙස නම් කරනවා. ඔහු හොද පුද්ගලයෙක්.
ජ්‍යෙතීෂය අනුව ගෝඨාභය රාජපක්ෂට දේශපාලන වශයෙන් අනාගතයක් තියෙනවාද? ඔහු කෞෂල්‍යය හෝ චානක්‍ය කෙනෙක් වෙන්න මිසක් මේ රටේ රාජ්‍ය පාලකයා වෙන්න ආව කෙනෙක් නෙවෙයි.
ඔබ කියන්නේ ඔහුට දේශපාලන ආගමනයක් නෑ කියලද?2020 දී ඔවුන්ගේ සහයෙන් වෙනත් නායකයෙක් පත්කරන්න ඔවුන්ට පුළුවන්. හැබැයි ඒ ගැන කතා කරන්න තාම කල් වැඩියි.
ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට එනවද නැද්ද කියන එකට ඔබට කෙළින් උත්තරයක් දෙන්න පුළුවන්ද?ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට එයි. සක්‍රීයව සම්බන්ධවෙයි. ඒත් ඡන්දය ඉල්ලන මට්ටමට ඔහු දේශපාලනය කරන්නෙ නෑ. ඔහු සුවිශේෂී පුද්ගලයෙක්. ඔහුට කිසිදු ජීවිත හානියක් වෙන්නෙ නෑ.
යහපාලන ආණ්ඩුවට එරෙහිව නැගී එන විකල්ප බලවේග ගැන ඔබට යමක් කිව හැකිද? ඒ බලවේග නැගී එමේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන එක. එහි තාවකාලික වාසිය එන්නේ එජාපයට.
ඒ කියන්නේ ස්ථීරවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙනවා? ඔව්... එය සිද්ධ වෙනවා.
කොයි කාලයේද කියලා කියන්න පුළුවන්ද? 2016 වසර තුල ඒ වියවුල් තත්ත්වය ඇත්වෙනවා. හැබැයි දැන් පසමිතුරන් සේ සිටින හුගක් අය ඉදිරියේදී එකට එකතු වෙනවා.
අද යහපාලන ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය ගැන ඔබ දරන මතය මොකක්ද ජ්‍යෙතීෂය අනුව ඔබ මේ තත්ත්වය විග්‍රහ කරන්නේ කොහොමද? මම පැහැදිලිවම ඒකයි කීවේ මේ වසර තුළ මේ ආණ්ඩුව ෆේල්. ඔවුන් කියපු කිසිම දෙයක් ඔවුන් කළේ නෑ. මාධ්‍ය නිදහස යම්තාක් තිබුණත් එය තාම සම්පූර්ණ වෙලා නෑ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් විකුමසිංහගේ කේන්දර අනුව අවුරුදු පහක කාලයෙන් පසු ඔවුන් නැවත බලයට එන ග්‍රහ තත්ත්වයක් තියෙනවාද?හබ්බෙවෙන්න ඉන්න දරුවට කේන්දර හදන්න ඕනේ නෑ. ඒ ගැන කියන්න තාම කල් වැඩියි.
මේ ආණ්ඩුව කියපු දේවල් කරන්න බැරි වුණේ ජ්‍යෙතිෂ බලපෑමක් මතද? ඕක ග්‍රයන්ගේ පැත්තට දාලා වැඩක් නෑ. ඊට වඩා සාධාරණ විවේචනයකට අපි එන්න ඕන. නැත්තම් ඒකත් ග්‍රහයන්ගේ පිටට දාලා ආණ්ඩුව වාසිය ගන්නවා. නිෂ්චිත අරමුණක පසුගිය කාලය මුළුල්ලේම ආණ්ඩුව වැඩ කළේ නෑ.
පුද්ගලයෙකුගේ ආත්ම ශක්තිය හා විශ්වාසය ප්‍රබල නම් ජ්‍යෙතීෂය හා කේන්දර අභිබවා යන්න ඕනෑම පුද්ගලයකුට පුළුවන්ද? සීයට සීයක් බැරි වුණත් යම්තාක් දුරකට පුළුවන්. හදහන කියන්නේ රිපෝට් එකක්. ඒ රිපෝට් එක අදුරගෙන එය වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
ලංකාවේ බහුතර දේශපාලනඥයන් ජ්‍යෙතීෂය පිළිබද දක්වන දැඩි විශ්වාසය ඔබේ විග්‍රහයට හසුවන්නේ කොහොමද? සර්... මේක ජීවම් කරලා තියෙන්නේ. මේක ඇදගෙන ගියොත් ඡන්දෙ දිනනවා. ඔක්කොම හරියනවා කීවොත් කාන්තා යට ඇදුමක් වුණත් අදින්න මේ රටේ හුගාක් දේශපාලනඥයන් පැකිලෙන්නෙ නෑ. ඒ තරම් නිවට පෞරුෂයක් ඔවුන්ට තියෙන්නේ.
ඔබේ දෑස් අන්ධබව පිළිබදවත් ඔබට ජ්‍යෙතිෂ්‍ය විග්‍රහයක් තියෙනවද? හමුදා බුද්ධි අංශයේ අය ඉන්නව හිගන්නෝ විදිහට. දෙවියන්ගේ බුද්ධි අංශයේ කෙනෙකුටත් එන්න බැරිද එහෙම හිගන්නෙක් විදිහට. මගේ අන්ධ බව මම මේ ජීවිතේ කරන්න ආව භූමිකාවේ අත්‍යවශ්‍ය සාදකයක්.
ආධ්‍යාත්මික දේවල් ගැන කතාකරන ඔබ දේශපාලන විචාරකයකු බවටත් පත්වීමේ වැරැද්දක් නැද්ද? ඔව්. ඒ චෝදනාවේ යම් සත්‍යතාවයක් තියෙනවා. හැබැයි මට ඔය චෝදනා කිසිවක් අදාළ නෑ. ක්‍රිෂ්ණා තමා භගවත් ගීතාව හරහා ලෝකයට පරම අධ්‍යාත්මික දර්ශනය දේශනා කලේ. ඒත් ක්‍රිෂ්ණා අර්ජුනගේ රියදුරු හැටියට යුද බිමට ගියා. මම කරන දේ වැරදියි නම් ක්‍රිෂ්ණා රියදුරකු වීමත් වැරදියි. මම කරන්නේ සායි බාබා තුමාගේ පොජෙක්ට් එකක් නෙවෙයි.
අවසානයටත් මම අහන්නේ ඔබ කවුද? මම තවමත් විවාදවලදී කිපෙන සුළු ආවේගශීලි පුද්ගලයෙක්. මම තවම උපේක්ෂාව සීයට සීයක් ලබාගෙන නෑ. ඔබ ඇහුව මැජික්කාරයා ජ්‍යෙතීෂවේදියා කියන්නේ මගේ ජීවිත පෙරහැරේ කසකරුවන් පමණයි. තව මාස කිහිපයකින් ඉන්දික තොටවත්ත කියන්නේ කවුද කියලා මම රටට කියනවා. අවුරුදු 29ක් කියන්නේ කෙනෙකුට ජීවිතයේ සුවිශේෂ කඩඉමක්. අවුරුදු 29 කියන්නේ ජ්‍යෙතීෂය අනුව සුවිශේෂී වයසක්. මට අවුරුදු 29 පසුවෙනකම් බලාගෙන ඉන්න. මම ඔබට මම කවුද කියලා කියන්නම්.

0 comments:

Post a Comment

 
Blogger Templates