Pages

Subscribe:

Thursday 18 February 2016

පවුල් 35කට හැර හැමෝටම රජය නිවාස දුන්නා- චම්පික

තොටලඟ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (17) දින බත්තරමුල්ල සුහුරුපායේ අමාත්‍යාංශ
ශ‍්‍රවණාගාරයේදී ඊයේ පැවැත්විණ. පළමුවෙන්ම කියන්න ඕනේ අපේ අමාත්‍යාංශය කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ නිවාස ප‍්‍රශ්නය විසඳීම සඳහා නාගරික පුනර්ජීවන වැඩසටහන නමින් වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒ වැඩපිලිවෙල පසුගිය රජය සමයේ තමයි ආරම්භ වුණේ. අපි ඒක දිගටම ගෙනයනවා. ඒක කි‍්‍රයාත්මක කිරීමේදී යම් යම් ගැටළුකාරී ස්වභාවයන් පැන නැග්ගා. ඒවා වලක්වාගෙන මේ කි‍්‍රයාදාමය ඉදිරියට ගෙනයාමට අපි කැපවෙලා ඉන්නවා. එතනදී අපි විශේෂයෙන්ම මේ ජනතාව එක්ක සහභාගීත්ව සංවර්ධනය කියන සංකල්පය යටතේ කතා බහ කරලා සාකච්ඡාවෙන් කටයුතු කරගෙන යනවා. අපි දැනට ඒ තැන්වල සමිති පිහිටවලා ඒ සමිතිත් එක්ක අපේ අමාත්‍යාංශය කටයුතු කරගෙන යනවා. ඒ ගොල්ලන්ගේ සමාජ ආර්ථික තත්වයන් ඉහලට නැංවීම සඳහා. අධ්‍යාපන, ක‍්‍රීඩා හා සංස්කෘතික තුන් පැත්තම නැංවීමට අපි දැනටමත් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඒ අනුව අපි නිවාස 68000ක් හදන්න කටයුතු කරගෙන යනවා.
කෙසේ වෙතත් මම ප‍්‍රකාශ කරන්න ඕනේ ඊයේ ඇතිවෙච්ච සිදුවීම, මීට පෙර ජනතාවගේ නිවාස කඩපු සිද්ධි සමග කිසි සේත් සංසන්දනය කරන්න එපා. මේ සියළුම නිවාස හිමියන්ට, තාවකාලිකව පදිංචි කරපු 35 දෙනෙක් හැර අනෙක් සියළුම දෙනාට අපි නිවාස ලබාදී තිබෙනවා. සමහර මාධ්‍ය ඉස්සරහා කතා කරපු අයට දෙක ගානේ දීලා තියෙනවා. එයාලා විශේෂ තත්වයන් යටතේ හිටපු නිසා. එනිසා කිසිම කෙනෙකුට මෙතන නිවාස නැති ප‍්‍රශ්නයක් නැහැ. සෑම කෙනෙකුටම රජය නිවාස අයිතිය දුන්නා. සෑම සාකච්ඡා වාරයකටම මමත් සහභාගී වුනා. රවී කරණානායක ඇමතිතුමා අපේ සභාපතිතුමා ඇතුළු අපි සියළු දෙනාම පසුගිය ජනවාරි 12 වෙනිදා සෑම නිවාස ලාභියෙකුටම තමන්ගේ නිවසේ යතුරක් සමග නිවසක් ලබාදුන්නා. අපි ඒ අය හැමෝගෙන්ම ඉල්ලා සිටියා කරුණාකරලා අපේ ඉදිරි වැඩකටයුතු ටික පහසු කර ගන්න ජනවාරි 31 වෙන කොට තමන්ගේ පැරණි නිවාස වලින් ඉවත් වෙන්න කියලා. ඒ පිරිසට නිවාස ලබාදී තිබිම හේතුවෙන්. ඒ වගේම ඊට පොරොතුව අපි මේ නිවාසවල කුලී නිවැසියන් හැටියට හිටපු අයට විශේෂ වැඩසටහනක් පවත්වලා දෙසැම්බර් මාසේ 19 වෙනිදා අපි එයාලට කිව්වා දෙසැම්බර් 31 වෙන කොට ඒ තැන් වලින් ඉවත් වෙන්න කියලා. ඒ හැමෝටම යම් කාලසීමාවක් දීලා බොහොම යුක්ති සහගතව තමයි මේ කටයුත්තු කළේ. නමුත් අවාසනාවකට අපි දැක්ක දේ තමයි සෙනසුරාදා, ඉරිදා දිනයන්හි විවිධ පිරිස් රජයේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගන්නවා. ඉඩම් අල්ලාගෙන නිවාස හදනවා, වගුරු බිම ගොඩ කරනවා. ගොඩකරලා ගෙවල් හදනවා. ඉතින් මේකට අවසාන වශයෙන් යම් කිසි පියවරක් ගැනීමට සිදුවුනා. විශේෂයෙන්ම පසුගිය සෙනසුරා ඉරිදා අතිවිශාල පිරිසක් එක පාරටම ඇවිත් මෙම ඉඩම්වල පදිංචිය අල්ලගන්න උත්සාහ කළා. ඒ නිසා තමයි අපිට මෙසේ ක්‍ෂණික පියවර ගන්න සිද්ධ වුනේ. අපි කිසිම කෙනෙකුට අසාධාරණයක් කරලත් නැහැ. කරන්න බලාපොරොත්තුවක් ඇත්තෙත් නැහැ. මේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම තමයි අපේ පරමාර්ථය. අපි ඉදිරියේදීත් කැපවෙනවා ඒ වෙනුවෙන්. ඒ නිසා අපි කිසිම කෙනෙකුට බලහත්කාරය පාන්නේ නැහැ. මාර්ගය අවහිර කළ කිසිම කෙනෙකුට කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර ආදී කිසිදු ප‍්‍රහාරයක් එල්ල කළේ නැහැ. දශලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අවහිරතාවයට පත් උනත් අපි කිසිම කෙනෙකුට හානියක් කළේ නැහැ. ඒ වගේම තමයි ඉදිරියේදීත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.
හැබැයි අපි කරුණු දෙකක් අවධාරණය කරනවා. පළමුවැන්න යුක්ති සහගතව දුගී පැල්පත්වාසීන් හැටියට ජීවත්වන සියළු දෙනාටම නිවාස සැපයීමට මේ නව රජය මේ ජාතික ආණ්ඩුව, මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාගේ සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාගේ මූලිකත්වයෙන් යුතු මේ ආණ්ඩුව කැපවෙනවා. ඒක අපි අනිවාර්යයෙන්ම කරනවා.
දෙවැන්න අපි ඒ කැපවෙලා යුක්ති සහගතව කරගෙන යන ක්‍රියාදාමයට බලහත්කාරයෙන් මැදිහත් වෙලා කටයුතු කරන්න කිසිම පුද්ගලයෙකුට, කණ්ඩායමකට ඉඩ දෙන්නෙත් නැහැ යැයි අමාත්‍යවරයා පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates