Pages

Subscribe:

Wednesday 17 February 2016

අනවසර පැල්පත් කඩා දැමීමෙන් තොටළඟ කැළඹෙයි

තොටළඟ ෆර්ගසන් පාර අසල පිහිටි අනවසර පැල්පත් 250 ක් පමණ නිවාස සංවර්ධන අධිකාරිය ඊයේ (16) පෙරවරුවේ කඩා ඉවත් කිරීම හේතුවෙන් අසරණ පැල්පත්වාසීන් තොටළඟ ජපන් මිත්‍රත්ව පාලම හරස්කර ඊයේ රාත්‍රිය වන විටත්
 විරෝධතාවයේ නිරතවීම නිසා දැඩි වාහන තදබදයක් උද්ගතව පැවතුණි. පැල්පත්වාසීන් ඊයේ පෙරවරු 10.30 ට පමණ විරෝධතාව ආරම්භ කළ අතර, සවස් කාලය වන විට ජපන් මිත්‍රත්ව පාලම මත ටයර් පුලුස්සා විරෝධතාව දැක්වීම හේතුවෙන් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයද අඩාළ විය.
නිවාස සංවර්ධන අධිකාරිය බැකෝ යන්ත්‍ර යොදාගෙන නිවාස කඩා ඉවත් කළ අවස්ථාවේ පැල්පත්වාසීන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වූ අතර, ඔවුන් බැකෝ යන්ත්‍රවලටද පහර දුන්හ. එය සමථයකට පත් කිරීම සඳහා ‍පොලිසිය සහ ‍පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තිබුණි. ‍පොලිස් නිලධාරීන් සමගද පැල්පත්වාසීන් ගැටුම් තත්ත්වයක් ඇතිවිය. පසුව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පෙළපාළියකින් ජපන් මිත්‍රත්ව පාලම හරස් කර විරෝධතාවේ නිරත වූහ. ඊයේ රාත්‍රිය වන විට මරදාන, කොටුව, බොරැල්ල, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් උද්ගතවිය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එල්. ප්‍රසන්න මහතා මෙසේ පැවසීය.
මෙතන ගෙවල් 285 ක් විතර තියෙනවා. රවි කරුණානායක ඇමැතිතුමා අපිට කිව්වා මේ ඉඩම්වල ඔයාලා දිගටම ඉන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. නමුත් අද නිවාස සංවර්ධන අධිකාරියෙන් ඇවිත් ගෙවල් ටික කඩලා දැම්මා. දැන් අපිට යන්න එන්න තැනක් නෑ. කිරි දරුවෝ තියාගෙන මහපාරේ ඉන්න වෙලා තියෙන්නේ. අද දවසට කිසිම දේශපාලනඥයෙක් අපි ගැන බලන්න ආවේ නෑ. අපිට විසඳුමක් ලැබුණේ නැත්නම් මේ විරෝධය දිගටම ගෙනියනවා. යැයි ඔහු පැවසුවේය.
අබ්දුල් මුසම්මිල් මහතා අදහස් දක්වමින්, මේ ගෙවල් පහුගිය ඡන්දේ කා‍ලේ කඩන්න ගියාම රවි කරුණානායක ඇමැතිතුමා ඇවිත් කිව්වා අපිට මේ තැන්වල ඉන්න දෙනවා.ඒ අයට ඡන්දය දෙන්න කියලා. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙනෙක් සහ ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ ලොකු මහත්තයාත් ‍පොරොන්දු වුණා මේ තැන් අපිට දෙනවා කියලා. දැන් ඒ අයම ඇවිත් අපේ ගෙවල් කඩනවා යැයි කීවේය.
කිරිබත්ගොඩ/සිසිර කුමාර-කැලණිය

0 comments:

Post a Comment

 
Blogger Templates