Pages

Subscribe:

Thursday 14 July 2016

අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න

මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල ගණන් නොසිතූ ලෙසින් ඉහළ ගොස් තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ආනයනික වාහන සඳහා රජය විසින් අනුගමනය කරන ලද බදු ප්‍රතිපත්තීන් දැඩි කිරීමයි.
කෙසේ වෙතත් බදු ඉහළ යාමට අමතරව ආනයනික වාහන මිල ඉහළ යාම ප්‍රධන වශයෙන් බලපෑ තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ බැසීමයි. විශේෂයෙන්ම ජපානයෙන් වාහන ආනයනය කිරීමේ දී ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීම, ජපන් මුදල් ඒකකය වන යෙන්වලින් සිදුකළ යුතුය. එහිදී ජපන් යෙන් වෙනුවෙන් ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් වටිනාකම පසුගිය වකවානුව පුරාවට ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුව නිසා කාලානුරූපව වාහනයක් වෙනුවෙන් ගෙවිය යුතු යෙන් වටිනාකමෙහි වෙනසක් නොවූව ද ඊට ගෙවිය යුතු රුපියල් වටිනාකම ඉහළ ගොස් ඇත.
පහත දැක්වෙන්නේ මෙම වසරේ මුල් භාගය තුළ දී ජපාන යෙන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරුණු ආකාරයයි.





ඊට අනුව 2016 පෙබරවාරි 01 වැනි දින ජපන් යෙන් එකක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් වටිනාකම 1.187954 කි. එහෙත් ජූලි 05 වැනිදා වන විට යෙන් එකක වටිනාකම රුපියල් 1.451847 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 22% ක ඉහළ යාමකි. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් පෙබරවාරි – ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජපන් වාහනයක මිල 22% කින් ඉහළ ගොස් ඇති බවයි. ඒ දේශීය වශයෙන් ඉහළ දමන ලද බදුවලට අමතරවය. මෙය ජපන් වාහනවලට පමණක් නොව ජපානයෙන් ආනයනය කරනු ලබන සෑම භාණ්ඩයක් වෙනුවෙන්ම බලපාන සංසිද්ධියකි.
ජපාන යෙන් එකක් වෙනුවෙන් වැඩිම රුපියල් වටිනාකමක් ගෙවන්නට සිදුවූයේ 2012 වසරේ දීය. 2012 ජූලි – අගෝස්තු කාලය තුළ දී යෙන් වටිනාකම රුපියල් 1.60 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව පහත සටහනෙන් දැක්වේ. කෙසේ වෙතත් 2015 වසරේ මැද භාගය වන විට යෙන් මිල රුපියල් 1 දක්වා පහළ මට්ටමක් කරා පැමිණියේ ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වීම නිසා පමණක් නොව ගෝලීය මුදල් ඒකකවලට එරෙහිව ජපන් යෙන් මුදල් ඒකකයෙහි අගය පහළ යාමත් නිසාය.






පවතින තත්ත්වය හමුවේ වාහන මිල ගණන්වල පහළ යාමක් කෙටි කාලයක් තුළ බලාපොරොත්තු විය නොහැකි බව වාහන ආනයනකරුවන්ගේ අදහසයි. කෙසේ වෙතත් රජයට වැඩි බද්දක් ගෙවමින් අඩු මිලකට වාහනයක් පිටරටින් ගෙන්වා ගැනීමට නම් සිදුවිය යුතු ප්‍රධාන දේ නම් දේශීය මුදල් ඒකකය තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ නොදී පවත්වා ගැනීමට රජය කටයුතු කිරීමයි. විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා දූරදර්ශී සැලසුම් සහගත වැඩපිළිවෙලක් රජය විසින් මෙහිදී අනුගමනය කළ යුත්තේ එබැවිනි. එසේ නැතහොත් වාහන සිහිනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් එය සිහිනයක් පමණක්ම වීම නොවැළැක්විය හැකි වනු ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates