Pages

anan manan

Pages

Thursday 18 February 2016

මවට බුදු බව ලැබේවායි ලියා පුතා ගෙල වැලලාගෙන

මව විසින් ලබාදුන් වකුගඩුව බද්ධ කර අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවිවාහක තරුණයකු රෝග පීඩාව හේතුවෙන් කලකිරී මවට බුදු බව ප්‍රාර්ථනා කර ලිපියක් ලියා එම
ඒකකයේ සිවුවන මහලේ පිහිටි වැසිකිළියක් තුළට ගොස් ඊයේ (16දා) අලුයම ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය සඳහන් කරයි. එසේ ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇත්තේ තිරප්පනය පොලිස් වසමේ උට්ටිමඩුව පදිංචිව සිටි 31 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මියගිය තරුණයා මීට මාස හතකට පමණ ඉහතදී මව පරිත්‍යාග කළ වකුගඩුව බද්ධ කිරීම සිදු කර ගෙන ඇති බවත් වකුගඩු බද්ධයෙන් පසුව ඔහුට ආසාත්මිකතාවක් මතුවීම හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ තුන්වැනි මහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ බවත් රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේය.
ඊයේ (16දා) අලුයම් කාලයේ තරුණයා වැසිකිළි යන බව පවසා වාට්ටුවෙන් පිටතට ගොස් ඇති අතර බොහෝ වෙලාවක් ඔහු වාට්ටුවට නොපැමිණීම නිසා රාත්‍රි සේවා මුරයේ සිටි හෙදියන් ඔහු ගැන විමසිලිමත් වී තිබේ. පසුව හෙදියන් හා සෙසු රෝගීන් තරුණයා සොයා සිවුවැනි මහලට ගොස් එහි වැසිකිළියක් පරික්ෂා කරද්දී පෙරවීම සඳහා යොදා ගන්නා ඇතිරිල්ලක පටියක් ආධාරයෙන් ඔහු ගෙල වැලලාගෙන සිටින අයුරු දැක තිබේ.
රෝගීව සිටියදී තමන්ට උපකාර කළ රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුතිය පළකර වකුගඩුව ලබාදුන් මවටත් තමන් ආදරයෙන් රැකබලාගත් පියාට නැන්දාට හා මාමාට බුදු බව ලැබේවායි ප්‍රාර්ථනා කර ලියන ලද ලිපියක් ඔහු ළඟ තිබූ බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පැවැසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක එච්.එම්. කුලසේකර මහතා ඉදිරියේදී මරණය සම්බන්ධයෙන් ඊයේ (16දා) අලුයම පොලිසිය පරීක්ෂණ සිදු කෙරුණු අතර මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

No comments:

Post a Comment