Pages

anan manan

Pages

Wednesday 17 February 2016

විදෙස් බලවේගවලට මම බය නෑ - ජීවිතය වුණත් දෙනවා

මම කිසිදු විදේශීය බලපෑමකට බලවේගයකට යටත් වෙන කෙනෙක් නෙවෙයි. රට වෙනුවෙන් රටේ ගෞරවය ආරක්‍ෂා කරගන්න ජීවිතය පරිත්‍යාග කරන්න මම සූදානම් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බළන්ගොඩදී කියා සිටියේය.
රටට නව ආර්ථික සැලැසුම් අවශ්‍යයි. දියුණු රටවලින් ඒවා ලබාගත්තත් රටේ සංස්කෘතියට රටට හානිදායක අලාභයක් වන දෙයක් අප නොකරන බව පැහැදිලිව කියා සිටිනවා. ජනතාව මුළා කරන්නට දේශපාලන ප්‍රතිවාදීන් කරන අසත්‍ය ප්‍රකාශ ගැන කිසිදු බියක් ඇති කර නොගන්නැයිද ජනපතිවරයා ඉල්ලා සිටියේය.
අද ඇතැමුන් දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ආයතන විනාශ කරන්න වෙබ් අඩවි පාවිච්චි කරනවා. වෙබ් අඩවි නිර්මාණය කළේ මිනිසුන් සඳහා මිස මිනිසුන් තුළ සිටින සතුන් සඳහා නොවේ" යැයිද ජනාධිපතිවරයා පැවැසුවේය.
කැබිනට් මණ්ඩලය තුළත් පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ විවාදාත්මක කරුණු දෝරෙ ගලා යනවා. නිදහස් මාධ්‍ය තුළ සත්‍ය දේ වගේම අසත්‍ය දේත් කතා කරනවා. ඇතැම් දේ මා පිළිගන්නවා. ඇතැම් අදහස් ප්‍රතික්‍ෂේප කරනවා. මම පත්වුණේ ජනතාවගේ කැමැත්ත අනුව රට ගොඩනැඟීමටයි" යැයිද ජනාධිපති සිරිසේන මහතා පැවැසීය. බළන්ගොඩ කිරිමැටිතැන්නේ කොන්ක්‍රීට් විදුලි කණු නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ඒ අයත් මේ සම්බන්ධයෙන් කතා කළා. ඇතැමුන් ගමේ පාසල් දරුවාගේ සිට දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ආයතන මේ සියල්ල විනාශ කිරීම සඳහා අන්තර්ජාලය භාවිත කරනවා. නවීන තාක්‍ෂණයේ ප්‍රතිඵලයන් ලෙසට බිහිවූ වෙබ් අඩවි නිර්මාණය කළේ දියුණු මිනිසා සඳහායි. දියුණු මිනිසුන් මේවා නිර්මාණය කළේ මිනිසුන් සඳහා මිස මිනිසුන් තුළ සිටින සතුන් සඳහා නොවේ. උගතුන්ට, බුද්ධිමතුන්ට, මානව හිතවාදීන්ට සිය දැනුම, අවබෝධය, පරිණතභාවය පාවිච්චි කරමින් රටක මිනිසුන් ගොඩනඟන්න ඉදිරිපත් වන සැබෑ වූ මිනිසුන්ටයි මේවා නිර්මාණය කළේ. නමුත් සෑම තැනම සිටින අයහපත් කියන අය යහපත් දේ අයහපතක් ලෙස භාවිත කරනවා. පහළ වැටී තිබෙන අපේ විදේශ වෙළෙඳපොළ අප ශක්තිමත් කරගෙන විදේශ සම්පත් වැඩිදියුණු කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා විදේශ වෙළෙඳපොළට අවශ්‍ය දේ මේ රටේ නිෂ්පාදනය කිරීමට දේශීය කර්මාන්තකරුවා, ඉන්ජිනේරුවරයා, බුද්ධිමතා ශක්තිමත් කළ යුතුයි. බලවත් රටවලින් අපිට නියෝග නැහැ. බලපෑම් නැහැ. තර්ජන නැහැ.
මා දුටුවා සමහර නායකයෝ රජයට චෝදනා කරමින් මාධ්‍ය වෙත නොයෙකුත් දේ පවසනවා. මම ඒ අයට කියන්නට ඕනෑ ඒ අය කරපු දේ තමයි අපිට හෝදන්න වෙලා තියෙන්නේ කියලා. අපිට නිදහසේ සතුටෙන් ස්වාධීන රටක් ලෙසට කටයුතු කරමින් ලෝකය ජය ගැනීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා. ඒ සඳහා අපි සියලුදෙනා එකට එක්විය යුතුයි. කෘෂිකර්මාන්තය ප්‍රමුඛ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නට මෙන්ම විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට ශක්තිය සැපයීම අපේ වගකීමක් ලෙස සිතා අප කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, අනෙකුත් පක්‍ෂ එකතු කරගෙන මේ කරන්නේ රට ඉදිරියට ගෙනයෑමයි. එළහරකයි මී හරකයි දෙපැත්තට අදිනවා වගේ සමහර අය මේ පක්‍ෂ දෙක දෙපැත්තට අදින්නයි හදන්නේ. වසර හැට ගණනක් අශීලාචාර ලෙස දේශපාලන සංස්කෘතියක් ගොඩනඟාගෙන මිනීමරාගෙන, දේපළ විනාශ කරන, රැකියා දහස් ගණනක් නැති කළ පශ්චාත් මැතිවරණ සමයන් තිබුණේ. ඒ අහිමිරි දේශපාලන සංස්කෘතිය වෙනස් කර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් උරුම කිරීමටයි ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වී මේ අසීරු ගමනක් යන්නේ. ඒ ගමනටයි ඇතැමුන් මේ බාධා එල්ල කරමින් සිටින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

No comments:

Post a Comment