Pages

anan manan

Pages

Friday 26 February 2016

උසාවි ගාණේ මහින්දට යන්න වුණ හේතුව රන්ජන් කියයි

තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ජනතා සේවය සඳහා වැඩි වේලාවක් ගත කිරීමට ලැබුණත් අද තමන්ට කාලය ගත කිරීමට සිදුවී ඇත්තේ උසාවි, කොමිෂන්, මූල්‍ය අපරාධ, හිරගෙවල්වල යැයි හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා පැවසුවද එසේ වී ඇත්තේ ඔහුගේ පාලන කාලයේ සිදුවූ දූෂණ, වංචා, අක්‍රමිකතා සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම නිසා බව ඔහුට අමතකවී ඇතැයි සමාජ සවිබල ගැන්වීම් සහ සමෘද්ධි අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි.
ඇමෙරිකන් ජනාධිපති ඔබාමා, ඩේවිඩ් කැමරන්, බෘෘනායි සුල්තාන්වරයා වැනි ණය බර නැති රටවල නායකයන් පාවිච්චි කරන ආකාරයට සුපිරි ඇඳක් නාන කාමරයක් ඇතුළු ආම්පන්න කට්ටලයක් ඔහු ගමන් කරන ගුවන් යානයට සවි කිරීමට ඩොලර් මිලියන 4ක් වැය කිරීම, එය සවි කිරීමට හා ඉවත් කිරීමට දින 4ක් ගතවන අයුරින් අස්සන් කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නොහැකිවීම 340 එයාර් බස් 8ක් ඇණවුම් කිරීම නිසා රජයට ඩොලර් මිලියන 1.5ක පාඩුවක් සිදුකිරීම, ඔහුගේ බිරියගේ සහෝදරයා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාව බලා එන අතර සිංගප්පුරුවේ සිටි තම අනියම් පෙම්වතිය රැගෙන ඒම සඳහා එම ගුවන්යානය සිංගප්පුරුවට ගොඩබැස්සවීම ඇතුළු දූෂණ වංචා අක්‍රමිකතා නිසා අද එතුමාට අල්ලස්, දූෂණ, කොමිෂන් මූල්‍ය අපරාධ හා සිරගෙවල්වල කාලය ගෙවීමට සිදුව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (25දා) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා හොරෙක් හොරකම් කර අසුවූ පසු මෙන්න පළිගන්නවා, මෙන්න අපිව දඩයම් කරනවා කියා කෑගසන ආකාරයට හිටපු ජනාධිපතිවරයාගේ හැසිරීම ජනතාවගේ හාස්‍යයට ලක්ව ඇතැයිද ප්‍රකාශ කළේය.
පසුගිය රජයේ පාලන සමයේ සිදුවූ දූෂණ වංචා අක්‍රමිකතා ආදිය විමර්ශන කටයුතුවල අධිකරණය වැරැදියි කියා පුළුවන් නම් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලෙස ගම්මන්පිල, වීරවංශ ඇතුළු ගජ මිතුරන්ට තමන් අභියෝග කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා
ලංකාපුත්‍ර බැංකුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ගජ මිතුරන්ට දුන් බිලියන ගණනක් ණය මුදල් අයකර ගැනීමට නොහැකි වී තිබෙනවා. අම්පාර ප්‍රදේශයේ මන්ත්‍රිවරියක් රුපියල් මිලියන 50ක් ලබාගෙන ආපසු ගෙවා නැහැ. කුමාර් දේවපුර රුපියල් මිලියන 500ක් ආපසු ගෙවා නැහැ. කුරුණෑගල සාලින්ද දිසානායක මන්ත්‍රිවරයා මිලියන 36ක් ආපසු ගෙවා නැහැ. එතුමා එය පිළිගෙන තිබෙනවා. අද ඉන්නේ ඇඩ්වාන්ස් ස්පෙෂල් හොරු. මට දුක මහින්ද රාජපක්ෂ හෝ ඔහුට ආවඩන සරත් එන්. සිල්වා වැන්නවුන් ගැන නොව ජයවේවා කියමින් ඔවුන් පසුපස යන ගැත්තන් ගැනයි. යෝෂිත රාජපක්ෂත් මේ හොරකම් දූෂණ චෝදනාවලට උත්තර දෙන්න ඕන. ලංකා පුත්‍ර බැංකුවේ වංචා දූෂණ ගැනත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අපේ හිතවත් කලාකරුවෙක් රුපියල් මිලියන 50ක් අරගෙන තිබෙන්නේ තක්සේරුකරුවන් දෙවරක් ප්‍රතික්ෂේප කළ නාය යන ඉඩමක් පෙන්නලා.
සමහරු කියනවා රාජපක්ෂවරු සමඟ රනිල් ඩීල් දානවා කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අර කියමනක් තියෙනවා ලබ්බට තියපු අත තමයි පුහුලටත් තියන්නේ කියලා. අපි දැන් ලබ්බට අත තියලා තියෙන්නේ. ඒ අත තමයි ඊළඟට කොටුවේ තියෙන පුහුලටත් තියන්නේ. යෝෂිත රාජපක්ෂට බැරිවෙලා තියෙනවා සී.එස්.එන්. නාළිකාවට කොහොමද රුපියල් මිලියන 234 යෙදවූයේ කියලා කියන්න.
පසුගිය රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන්, නිළි රැජිනියන් කලාකරුවන් ඇතුළු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එරෙහිව කටයුතු කළ විශාල පිරිසක් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මුණගැහෙන්න ගිහින් තියෙනවා. මේ අය ගියේ රෙදි ඇඳගෙනද? ලබන මාසේ 8දාත් මේ අය යනවලු පත්තිනි දේවාලයට දුක කියන්න. පිං පෙට්ටියත් අරන් ගිය සීනිගම දේවාලයට පොල් ගහන්න ගිය මේ අයගේ පොකට් එකවත් රැකගන්න බැරිවුණා. මම රූපවාහිනි සාකච්ඡාවකට ගිය වේලාවේ මගේ මාලේ ආරක්ෂක අංශයට දීලා ගියෙත් ඒකට එන අය මගේ මාලේ කඩන් යයි කියලා සැකයෙන්. ලංගම බිලියන ගණනින් පාඩුයි. 5,000ක් ඕන තැනට 12,000ක් වැඩිපුර අරගෙන රක්ෂා දීලා. මහින්ද හා හිටපු ඇමැතිවරු මේ විදියට හිතුමතේ රස්සා දුන්න පිරිසක් අද ඔවුන් සමඟ ඉන්නවා. එවැනි ජනප්‍රිය තීන්දු තම ආත්ම ලාභය තකා මෛත්‍රිපාල ජනාධිපති හෝ රනිල් අගමැතිතුමා හෝ ගන්නේ නැහැ. තමන් හිරේ ගියාම හුරේ දාලා කෑගහන්න ඕන පිරිසක් හදා ගන්නයි එදා රස්සා දුන්නේ. ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතින් ඒ වගේ අවැඩක් රටට සිදුවන්නේ නැහැ.
කෝප් එකට සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කිරීම ජේ.වී.පී. එකට කේ‍රඩිට් එකක්. අනුර පොල්ගම්පල සහෝදරයා කෙනෙක් රට යවන්න මුදල් ගත්තහම එයාව විනය කමිටුවට ගෙනත් පක්ෂයෙන් නෙරපුවා. වීරවංශ සහෝදරයත් එහෙමයි.
ජේ.වී.පී. එකේ අරමුදලෙන් ක්‍රියාශීලීව පෙම්කරන්න මදන මෝදකය අරගත්ත අයත් ඉන්නවා. හිරු පත්තර කන්තෝරුවේ පත්තර පිටුවල නිදාගන්න පුද්ගලයාට හෝකන්දර මාලිගා තියෙන්නෙ කොහොමද? මිලියන ගණන් සල්ලි කොහෙන්ද? වසරකට කල් ඉකුත්වූ රුපියල් බිලියන 6ක බෙහෙත් වළ දාන බව කියන ඔෟෂධ මණ්ඩලයත් ළඟදී කෝප් කමිටුවට කැඳවූවා. සෞඛ්‍ය ඇමැතිතුමා රටේ නැති නිසා එය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සියලුම පක්ෂ එකතුව වංචා දූෂණ හෙළි කරනවා. අසරණ වයෝවෘද්ධ අයට දෙන රුපියල් 2000න් රුපියල් 100ක් එස්.බී. ඇමැතිතුමා කපාගෙන. එම තීරණය වෙනස් කරන්න කෝප් කමිටුවට හැකිවුණා. චූදිතයන්ට නඩුදාන්න කෝප් කමිටුවට හැකියාව තිබෙනවා. අගමැති මාධ්‍ය මර්දනය කරන බව මාධ්‍ය මඟින් ප්‍රචාරයක් යනවා. සමහර මාධ්‍යවේදීන් මගෙනුත් ඒ ගැන විමසුවා. එහෙම අභූත චෝදනා නැඟිය හැක්කේ පසුගිය වසරේ ජනවාරි 8දාට පසුව ඉපදුණු අයට පමණයි. ලසන්ත, කිත් නොයාර්, එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන් ඇතුළු මාධ්‍යවේදීන්ට සිදුවූ දෙය ඒ අය නොදන්නවා වෙන්න පුළුවන්.

No comments:

Post a Comment