Pages

anan manan

Pages

Wednesday 17 February 2016

යෝෂිත සිහිකරමින් අත්පටි පැලඳූ ක්‍රීඩකයන් 4ක් ඉවතට

රග්බි තරගයක දී යෝෂිත රාජපක්ෂ මහතා සිහිකරමින් අත්පටි පැලඳ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සිව්දෙනකු නාවික හමුදා රග්බි සංචිතයෙන් ඉවත්කර ඔවුන්ට එරෙහිව වහාම විනය පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර

විජේගුණරත්න මහතා ඊයේ (15) නියෝග කර තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා යුද හමුදාව අතර පෙරේදා (14) දියගම පැවැති රග්බි තරගයක් අතරවාරයේ මෙම ක්‍රීඩකයන් සිව්දෙනා යෝෂිත රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් ඔහුගේ අංකය සහිත පටි පැලඳ ක්‍රීඩා කර තිබෙන බවය.
ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි සමාජයේ හිටපු නායකයා වන යෝෂිත රාජපක්ෂ මහතා අංක 07 යටතේ ක්‍රීඩා කළ අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි. නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයන් සිව්දෙනා ද ‘අංක-07’ නමැති නාමය සහිත අත්පලඳනා පැලඳ ක්‍රීඩා කර තිබූ බවත් ඔවුන් මෙලෙස අත් පලඳනා පැලඳ ක්‍රීඩා කළ බව නාවික හමුදා උසස් නිලධාරීන් දැනගත්තේ තරගය අතරවාරයේ බවත් උසස් නාවික හමුදා නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව නාවික හමුදාපතිවරයා අදාළ ක්‍රීඩකයන් රග්බි සංචිතයෙන් ඉවත්කොට ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් දී තිබිණි. සංචිතයේ ඉවත් කළ නාවික හමුදා ක්‍රීඩකයන්ට මේ නිසා මෙවර පළමු පෙළ රග්බි තරගාවලිය අහිමි වනු ඇත. ඔවුන් නාවික හමුදා පුහුණුව ලැබූ නාවික හමුදා නිලධාරීන් හෝ සෙසු නිලයන් දැරූ අය නොවන බවත් ‘රග්බි’ කණ්ඩායමට පිටතින් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ ක්‍රීඩා කළ අය බවත් එම උසස් නාවික නිලධාරියා සඳහන් කළේය.

No comments:

Post a Comment