ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවද ඔහු වසර දෙක තුනකට වරක් හෝ ශ්‍රී ලංකාවට පැමිණෙන.. අව්‍යාජ හා නිරහංකාර කලාකරුවෙකි, ශ්‍රීනාත් මද්දුමගේ. හෙතෙම මීට සති තුන හතරකට පෙර ලංකාවට පැමිණෙන්නේ උදයකාන්ත වර්ණකුලසූරියගේ "වස්සානේ ගීතය" චිත්‍රපටයේ සහ අජිත් මෙන්ඩිස්ගේ දැනට විකාශනය වෙමින් පවතින "දඩකෙළි අරණ" ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයක රඟපෑම සඳහාත්, තම පවුලේ මංගල උත්සවයකට සහභාගීවීම සඳහාත් ය.
දුරකථන ඇමතුමකින් කතාකරගත් පරිදි පසුගියදා සැඳෑ කාලයක ලා අඳුරත් සමග ඒ සුන්දර සහෘදයා මට මුණ ගැසෙන්නේ කොට්ටාව නගරයේදී ය.
ඉස්සර වගේමය. කිසිදු වෙනසක් නැත. අව්‍යාජ හිනාව, ප්‍රිය මනාප කතා බහ, සමග 'වයසට නොයන' තරුණ පෙනුමක් ඇති උස මහත, සහිත මගේ මිත්‍රයා මා මුණ ගැසෙන්නේ දුර සිටම සුපුරුදු මහා හිනාවත් සමගමය.
"යං මචන්. හොඳ තැනකට ගිහින් කතා කරමු." අපි, වැඩි කලබලයක් නැති, අපේ කතාවට ගැලපෙන බිල්ඩිමක උඩතට්ටුවේ අයිනේ මේසයක වාඩිවී කතා කළෙමු. ඝෝෂාකාරී නගරය තවමත් කලබලය. අපට එය බාධාවක් නොවේ.
අවුරුදු 02කට පස්සෙ මේ සැරේ මම ලංකාවට ආවේ "වස්සානේ ගීතය" චිත්‍රපටයේ වගේම "දඩකෙළි අරණ" ටෙලි නාට්‍යයේ කොටස් කීපයක් රඟපාන්නයි, අමතරව මගේ අයියගේ දුවගේ වෙඩින් එකටත් සහභාගී වෙන්නයි.
කාලෙකින් රඟපාන නිසා පැරණි හපන්කම් එලිදැක්වීම කළහැකි උනාද? ඔව්, මම මගේ කැරැක්ටර්, එක පාරින්ම කළා.. එක කොටසක් වත් දෙපාරක් ගත්තේ නෑ.. ඒ කියන්නේ අපේ හැකියාව තවම අපේ ඇඟේ තියෙනවා.."
මේ රංගණයත් සමග එකතුවූ විශේෂ සිද්ධි මොනවත් නැත්ද? එහෙමටම නෑ.. ඒත් රඟපාන අතරේ ලැබුණු පොඩ් විෙවිකයකදී මම තැඹිලි ගෙඩියක් බොන්න ඒ කිට්ටුව හිටපු දුප්පත් අම්මා කෙනෙක් ගාවට ගියා. ඒ අම්මා මගෙන් සල්ලි ගත්තේ නෑ.. "කොස්තාපල් පුණ්‍යසෝම" චිත්‍රපටියේ මම රඟපානවා ඒ අම්මා දැකලා මාව හඳුනාගෙන. "සල්ලි එපා පුතේ මගේ ලඟට ඇවිත් තැඹිලි ගෙඩියක් බීපු එකත් මට හරි සතුටක්" කියල ඒ අම්මා කිව්වා. "ඔය රඟපාන නෝනල මහත්තුරු මෙතනින් එහාට මෙහාට යනවා. ලොකු තැන්වලින් වැඩි ගණන් දීලා තැඹිලි බොනවා. අපි දිහා බලන්නෙවත් නෑ.. මහත්තයා තමයි මං ගාවට තැඹිලි බොන්න ආපු එකම කලා කාරයා" කියල ඒ අම්ම දුකෙන් කියනවා. පස්සෙ හරි අමාරුවෙන් සල්ලි තියල ආවේ.
ලංකාවට මේ සැරේ තනියමද ආවේ.. නෑ. නෑ. මම තනියම නෙවෙයි ආවෙ. මගේ නෝනයි දුවයි ආවා. දුවට දැන් අවුරුදු 05යි. මම ආපු රාජකාරියට අමතරව මේ දවස්වල විවේක තියෙන හැම වෙලාවෙම දුවට අපේ රට, අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි මම වෙහෙසෙන්නේ. සීගිරි, දඹුලු, අනුරාධපුර, පොලොන්නරුව, නුවර වගේ තැන්වලත් පින්නවල වගේ තැනුත් දුවට පෙන්නුවා. එයා ඉපදුනේ සහ හැදෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිසා අපේ දේවල් කියාදෙන එක තමයි මගේ යුතුකම."
ඔස්ට්‍රේලියාවේදී කලා කටයුතු එහෙම කෙරෙනවද? එහෙදීත් මම කලා කටයුතු කරනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලනේ අපි ඉන්නේ.. මෙල්බර්න්වල "පැලැනට් ෂේක්" කියන රංගායතනයේ පසුගිය ජූලි මාසෙ මෙතෙක් ඉතිහාසයේ කවුරුත් නොකළ විශේෂ කලා ප්‍රසංගයක් කළා. "දොන ඉසබෙලා ජවනිකා පෙළහර" තමයි ඒකෙ නම."
"මේ ප්‍රසංගයට ශ්‍රී ලංකාවෙන් සහභාගීවුණා, රංග ශිල්පී සනත් විමලසිරි, රංග ශිල්පිණී දිලිනි ලක්මාලි සහ පිටපත් රචක අජිත් මෙන්ඩිස්."
මම අහගෙන ඉන්නව. ශ්‍රීනාත් කතා කරනව. ප්‍රශ්නයක් අහන්න තැනක් නෑ. හැමදේම අපූරුවට පැහැදිළි කරනව.
මේ ප්‍රසංගයට ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් 85 දෙනෙක් මම රංගනයෙන් සහභාගීකර ගත්තා. ඒ අයගෙන් වැඩි පිරිසක් එදා තමයි පළමුවෙන්ම වේදිකාවකට ගොඩ වුනේ. හරිම සතුටුයි. හරිම ලස්සනයි. පැලැනට් ෂේක් රඟහලේ සියලුම ආසන පිරිලා. ආනන්දයෙන් ප්‍රඥාව කරා යාමයි මම කළේ."
මෙවැනි ප්‍රසංගයක් කරන්න විශේෂ හේතුවක් තිබණද?.. වැඩකට ඇති නැති ප්‍රශ්නයක් මම ඇහුව. ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අමතක වුණු, නමුත්, අපේ රටේ ආක්‍රමණ පිළිබඳව නැවත මතක් කිරීමත් තමයි, කුවේණි ගේ සිට මෝහිණී දක්වා අසාධාරණයට ලක්වුණු ශ්‍රී ලංකික කාන්තාවන් ගැන කතා කිරීමත් මේ ප්‍රසංගය හරහා සිදුකිරීමයි අවශ්‍ය වුණේ.
අපේ රට, විජය කුමාරයා ආක්‍රමණය කළා. ඊට පස්සෙ දකුණු ඉන්දියානු චෝල පාණ්ඩවයෝ, ලන්දේශි, පෘතුගීසි, ඉංග්‍රීසි කළේ ආක්රමණම තමයි. මේ ආක්‍රමණ තුළින් අපේ ඉතිහාසයට බරපතළ හානි සිදුවුණා. සමාජ අසාධාරණකම් සිදුවුණා. අපි ඒගැන මේ ප්‍රසංගය හරහා කතා කළා. දුක් විඳපු කාන්තාවන් ගැන කතාකළා. කුවේණි, දොණ කැතරිනා, (ඇය අවසාන රජ පෙළපතේ කුමාරිය) ඇහැළෙපොළ කුමාරිහාමි, වගේම අවසාන රඡ්ජුරුවෝ ගැනත් කතා කළා. පවතින, ශ්‍රී ලංකික දේශපාලනය ගැනත් කතා නොකලා නෙමෙයි."
"උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරූ.
ඉතින් ආයුබෝවන්, ලක් මවුණි ගරූ"
ප්‍රසංගයේ එක් තැනකදී මේ කවිය කියන කොට අපේ මිනිස්සු ඇඬුවා. ඒ අමතක වෙලා තිබුණු අපේ කමට. ජාතික හැඟීමට. රට වෙණුවෙන් ඇතිවුනු ආදරයට. අන්න ඒකයි මට ඕනවෙලා තිබුණේ. මම ඒක කළා. සතුටුයි. ගොඩාක් සතුටුයි...
කවුද ඔබට මේ කාර්ය සඳහා දායක වුණේ.. මට උදවු කළා ඔස්ට්‍රේලියාවේ තියෙන "ඔස්කා" කියන සංවිධානය. (ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය) ඒකෙ සභාපතිනිය ෂෙහානී ජයවික්‍රම, ලේකම් පුෂ්පික ගමගේ, ඒවගේම නිලධාරි මණ්ඩලේ දීපාල් ධර්මසේන, චිත්‍රා සෙනරත්. ඇතුළු පිරිස අපිට ගොඩාක් උදවු කළා. ප්‍රසංගයේ සංගීතය සනත් විමලසිරි ගෙන්. දිලිනිත් ඉතාම උසස් රංගන දායකත්වයක් සැපයූවා.





0 comments:
Post a Comment