Pages

anan manan

Pages

Friday, 12 August 2016

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා දරුවා නැති වුණා

 
 
 
දරුවා අපිට නැතිවුණේ නාගොඩ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ වරදින්. මගේ ළඟ සියලුම වෛද්‍ය සහතික තිබෙනවා. මම මේ සම්බන්ධයෙන් රෝහ‍ලේ ඉන්න ඒ වෛද්‍යවරුන්ට විරුද්ධව දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර අරගන්නවා. ඒ මොකවත් නිසා නොවෙයි මගේ අහිංසකයාට වුණු අසාධාරණය තවත් මේ රටේ අහිංසක දරුවකුට  සිදු නොවෙන්නයි. ඇයි ඒ උදවිය අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ. යැයි කළුතර නාගොඩ රෝහ‍ලේ අවස්ථා කිහිපයක් නේවාසිකව සිට ප්‍රතිකාර ලැබූ බෙන්තොට ගෝනගලපුර හේනෙගෙවත්තේ ජීවත් වූ වයස අවුරුදු 09 ක කුඩා දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධව දරුවාගේ පියා එසේ පැවසීය.
විශ්ව අයෝෂ නෙත් කැළුම් හේමචන්ද්‍ර සිසුවා ගෝනගලපුර නවෝද්‍යා පාසලෙහි හතරවැනි වසරෙහි අධ්‍යාපනය ලැබුවේය. සංජිව හේමචන්ද්‍ර සහ අයෝධ්‍යා විජේමාලි යන දෙමාපියන්ගේ බාල දරුවා මෙලෙස මියගොස් ඇත. ඔහුට වැඩිමහල් 12 හැවිරිදි සහ 17 හැවිරිදි සහෝදරියන් දෙදෙනෙකි.
දරුවාගේ පියා වන සංජීව හේමචන්ද්‍ර තවදුරටත් මෙසේ පැවසීය.
මගේ දරුවාට එහෙම අසනීපයක් තිබුණේ නැහැ. හිටි හැටියෙම තමයි දරුවා කිව්වේ ඔලුව රිදෙනවා කියලා. අපි ගෝනගලපුර රෝහලෙන් ප්‍රතිකාර ගත්තා. එහි වෛද්‍යවරු අපට කිව්වා දරුවාගේ රෝගී තත්ත්වය අනුව දරුවාට සුෂුම්නාව හා මොළය සම්බන්ධව අසනීපයක් තිබෙන බව පේනවා. කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන්න කියලා. අපි ඉකුත් මැයි 06 දා නාගොඩ රෝහ‍ලේ 10 වැනි වාට්ටුවට ඇතුළත් කළා. එම රෝහ‍ලේ ළමාරෝග විශේෂඥ වෛද්‍යවරිය කිව්වා දරුවාට නිදි උළුක්කුවක් වගේ තියෙන්නේ කියලා. මගේ බිරිඳ ඒ අවස්ථාවේ කිව්වා ගෝනගල රෝහලෙන් කිව්වේ සුෂුම්නාව හා මොළය සම්බන්ධ තත්ත්වයක් වගේ කියලා. එවිට ඔයාලා එනවද මට උගන්වන්න කියලා දොස්තර නෝනා මගේ බිරිඳට බැන්නා. අපි නිහඬ වුණා. පසුව දරුවා ගෙදර ආවා. නැවතත් ජූනි මස 22 දා එම රෝහලට ඇතුළත් කළා. එහිදී තවත් විශේෂඥ වෛද්‍යවරියක් ප්‍රතිකාර කළා. ඔවුන් කිව්වෙත් ඒ වගේම දෙයක්. දරුවා හිස බදාගෙන කෑගහන විටත් වෛද්‍යවරුන් කිව්වේ නිදි උළුක්කුව කියලා. පැරසිටමෝල් දීලා බාම් ගාලා අතගෑවා ඒ අය.
පසුව අපි එම වෛද්‍යවරිය වෙත පුද්ගලිකව මුදල් ගෙවලා දරුවා පෙන්නුවා. එවිට ඇය කිව්වා රෝහ‍ලේ ප්‍රතිකාර ලැබුව වාර්තාව බලලා දරුවාගේ ස්නායුවල ප්‍රශ්නයක් කියලා. එහිදී එම වෛද්‍යවරිය දින 07 කට දරුවාට බෙහෙත් දුන්නා. දරුවා 06 වැනි දවසේ සිහි මුර්ජා වෙලා වැසිකිළියේ වැටුණා. අපි නාගොඩ රෝහලට රැගෙන ගියා. ඒ වැටෙන විට පාන්දර 6.10යි. අපි පෙ.ව. 7.00 ට විතර රෝහලට ඇතුළත් කළා. පසුව වෛද්‍යවරු බෙහෙත් දුන්නා. දරුවා දඟලනවා, කෑ ගහනවා අපට බලාගෙන ඉන්න බැහැ. ඒත් ඒ අය කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. පසුව ඔවුන් කොළඹ මහ රෝහලට යවන්න තීරණය කළා. ඒත් පාසල් ඇරිලා රථවාහන තදබදය කියලා සවස 2.00 වනතුරු දරුවාව කොළඹ නොයවා බලාගෙන හිටියා.
මම කියන්නේ ඒ ප්‍රමාද කළේ ඒ අය දරුවාට දීපු බෙහෙත් නියම අසනීපයට දීපු ඒවා නොවන නිසා ඒවා ශරීරයේ දියවන තුරු සේලයින් දීම නිසයි. නාගොඩින් සී.ටී. ස්කෑන් එකක් අන්තිම මොහොතේ කළා. ඉන්පසු කිව්වා මොළයේ ‍ලේ කැටි දෙකක් තියෙනවා කියලා.
පසුව කොළඹ යනවිට සවස 5.30යි. ඒ වනවිට ගිලන් රථය වැල්ලවත්තේදී ක්‍රියා විරහිත වුණා. පසුව මහ රෝහලින් ගිලන් රථයක් රැගෙනවිත් දරුවා අරන් ගියා. ඒ ගිය ගමන් සී.ටී. ස්කෑන් එකක් කළා. කුඩා ශල්‍යකර්මයක් කරලා ඊ.වී.ඩි. එකක් දැම්මා. දරුවාගේ රෝගී තත්ත්වය ටිකක් අඩුවුණා. පසුව කොළඹ පුද්ගලික රෝහලකින් ඩී. එස්. ඒ. පරීක්ෂණය කළා. එම රෝගී පරීක්ෂාවෙන් පසුව මහ රෝහ‍ලේ බණ්ඩාරනායක ගොඩනැගිල්‍ලේ 12 වාට්ටුවේ සිටි වෛද්‍ය ජයන්ත ලියනගේ මහතා, වෛද්‍ය හපුආරච්චි මහත්මිය යන අය විශාල උත්සාහයක් අරන් ශල්‍යකර්මය සිදුකළා. ඒ ජුනි 30දා. පසුව ජුලි 01 දා දරුවාට සිහිය ආවා. ඔපරේෂන් එක සාර්ථකයි කියලා වෛද්‍ය ජයන්ත මහතා කිව්වා. දින 26 ක් යනතුරු දරුවා හොඳින් හිටියා. මැෂින් ගැලෙව්වා. කිසිම අපහසුවක් තිබුණේ නැහැ. නමුත් දරුවාට සෙම ගතිය වගේ තිබුණා. ජුලි 26 දා නැවත දරුවාට අසනීප වුණා. 28 දා නැවත ඔපරේෂන් කළා. ජුලි 05 දා දක්වා මැෂින් එකෙන් දරුවා ජීවත් වුණා. එදින අලුයම 3.30ට පමණ දරුවා නැතිවුණු බව අලුයම 5.30 ට රෝහලින් ආපු දුරකතන ඇමතුමෙන් දැන්වූවා. අපේ ජීවිත ගමන නතර කළා වගේ අපට හැඟුණා.
අපට ගෝනගල රෝහ‍ලේ සහ කොළඹ මහ රෝහ‍ලේ වෛද්‍යවරු ගැන කිසිම සැකයක් නැහැ. ඒ අය ඒ අයගේ කැපවීම උපරිම ලෙස කරලා දරුවා වෙනුවෙන් කළ හැකි හැමදේම කළා. නමුත් කළුතර නාගොඩ රෝහ‍ලේ වෛද්‍යවරුන් කළ නොසැලකිලිමත් වෛද්‍ය ප්‍රතිකාර නිසා මගේ දරුවා මට නැති වුණා.
දර්ශන කරුණාරත්න බෙන්තොට ඉඳුරුව වාර්තාකරු
 
 
 
 

No comments:

Post a Comment