Pages

anan manan

Pages

Thursday 18 February 2016

ජර්මානු චාන්සර්වරිය සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකයි

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය සමඟ ශ්‍රී ලංකාවට වැදගත් වන කරුණු රැසක් පිළිබඳ ව ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවත් එයින් ජර්මානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ක්‍රම

සහ විධි පිළිබඳ ව පුළුල් ලෙස සාකච්ඡා වූ බවත් ජර්මනියේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) බර්ලින් නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ  කළේය.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනපතිට සහතික වෙයි.
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙ‍ළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය අතර නිල හමුව ඊයේ(17) සිදු විය.
ජර්මන් වේලාවෙන් අද පෙ.ව. 10.50ට පමණ ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරියගේ නිල කාර්යාලයේ දී මෙම හමුව සිදු කෙරිණි. එහිදී ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරිය විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් අතර හමුදා උත්තමාචාර ද සහිතව අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. දෙරටේ ම ජාතික ගී ද එහි දී වාදනය කෙරිණි. ජනාධිපතිතුමා පැමිණෙන මඟ දෙපස ශ්‍රී ලංකා සහ ජර්මන් ජාතික ධජවලින් සරසා තිබුණේ දෙරටේ සමීප සබඳතාවය විදහා දක්මිනි.
සිය රටේ ඉහළ ම ගෞරවය ප්‍රදානය කරමින් ලෝකයේ බලවත් ම රාජ්‍ය නායිකාව වූ ඇන්ජෙලා මර්කල් මහත්මිය විසින් මෙහි දී ජනාධිපතිතුමා පිළිගැනීම විශේෂ සිදුවීමක් විය.පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කෙරිණි.
දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු විය.ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ කටයුතු සඳහා සහාය වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ජර්මන් චාන්සලවරියගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වූ චාන්සලර්වරිය ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීමටත්, ජනතාව වකුගඩු රෝගයට ගොදුරුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ජර්මනියේ සහාය ලබා දීමටත් සිය එකඟතාව පළ කළාය.
ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳ සිය සතුට පළ කළ ඇන්ජෙලා මර්කල් මහත්මිය දකුණේ මෙන්ම උතුරේ ජනතාව ද අද සතුටින් ජීවත්වන බව තමාට අසන්නට ලැබුණු බවත් උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා ජර්මන් රජයේ සහය ලබා දෙන බවත් ප්‍රකාශ කළාය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ජර්මන් රජයේ ආධාර ලබා දීමට ද චාන්සලර්වරිය කැමැත්ත පළ කළාය.
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පැනවූ මත්ස්‍ය අපනයන තහනම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් එහි වාර්තාව අනුව ඉදිරි කටයුතු සොයා බලා ඉදිරි පියවර ගන්නා බවත් චාන්සලර්වරිය ප්‍රකාශ කළාය.
එමෙන්ම GSP + සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සහාය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ජර්මන් චාන්සල්වරියගේ ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ සොයා බලන බවද එතුමිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ඇන්ජෙලා මර්කල් මහත්මිය වෙත ආරාධනා කර සිටි අතර එම ආරාධනය චාන්සලර්වරිය විසින් ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබීම ද විශේෂ සිදුවීමක් විය.අමාත්‍යවරුන්වන මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment