Pages

anan manan

Pages

Monday 29 February 2016

පොහොර සහනාධාරය නවත්වන්නේ නෑ.. ඒත් අනිවාර්යයෙන්ම කාබනික පොහොරවලට යොමු විය යුතුයි..

ජනතාව වෙත ලබා දෙන පොහොර සහනාධාරය කිසි ලෙසකින්වත් නැවැත්වීමට පියවර නොගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ පැවති වෛද්‍ය සායනයක් අමතමින් කියා සිටියේය.

ගොවිජනතාව වෙත පොහොර සහනාධාර ලබා දීම සඳහා පසුගිය වසරේ වෙන් කර තිබූ රුපියල් මිලියන තිස් පන් දහසක මුදල වෙනුවට මේ වසරේ දී රුපියල් මිලියන තිස් හත් දහස් පන්සියයක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගත් බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

මෙවර කන්නයේ සිට පොහොර වෙනුවට මුදල් දීමට තීරණය කළේ, ගොවීන්ට තමන් කැමති ස්ථානයකින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහායි. 
එහිදී, තම ගොවිබිමට අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් යොදවා සෙසු අවශ්‍ය පොහොර අවශ්‍යතාව ගොවිබිම තුළින්ම නිෂ්පාදනය කර ගන්නා කාබනික පොහොර හරහා සම්පූර්ණ කර ගැනීමට මෙමගින් දිරිගැන්විය හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි ක්‍රියාමාර්ගයක් තුළින් රජයෙන් ලබා දෙන මුදල, අත ඉතිරියක් ලෙස ගොවිබිමේ සෙසු කටයුතු වෙනුවෙන් යෙදවීමට ද ගොවීන්ට අවකාශ සැලසේ.

නමුත්, මෙම තත්ත්වය විපක්ෂ පාර්ශවයන් හා නිසි අවබෝධයක් නොමැති අවස්ථාවාදී පිරිස් දේශපාලනව වාසි ලබා ගැනීම වෙනුවෙන් භාවිත කරමින් සිටීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍ය දයා ගමගේ සඳහන් කළේය.

ගොවීන් වෙනුවෙන් ප්‍රමිතියෙන් අඩු පොහොර ලබා දීමට පසුගිය කාලයේ කටයුතු කිරීම හේතුවෙන් 2001 වසර වන විට හෙක්ටයාරයකින් ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය වූ කිලෝ 4,200ක ප්‍රමාණය, මේ වන විට කිලෝ 3,700 දක්වා පහත බැස තිබේ.

කෙසේ නමුත්, ශ්‍රී ලාංකික කෘෂිකාර්මික ක්ෂේත්‍රය වහාම කාබනික පොහොර ඇතුළු පරිසර හිතකාමී අංශයන් වෙත යොමු විය යුතු බව ද අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය. රටක් ලෙස අප සතුව තිබූ පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් හා වගා ක්‍රමයන් මේ වන විට භාවිතයෙන් ඉවත්ව ගොස් තිබේ. 
දයා ගමගේ මැතිතුමා කියා සිටියේ, දැනට වාර්තා වන වකුගඩු රෝග ඇතුළු රෝග ගණනාවකටම හේතුව ද පරිසර හා සෞඛ්‍ය හිතකාමී දේ භාවිතයට නොගැනීමේ විපාකයක් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ,
“දයාසරණ සංවර්ධන පදනම මගින් අම්පාර, මහියංගනය, බිබිල හා මොරණරාගල ඇතුළු ප්‍රදේශ ගණනාවකම මේ ආකාරයේ වෛද්‍ය සායන සංවිධාන කරලා තිඛෙනවා. මෙවැනි සායන සංවිධාන කිරීමේ දී අපට තියන අත්දැකීම තමයි, ඒ එක් සායනයක් සඳහා දෙදහසක විතර පිරිසක් සහභාගී වෙනවා. අපි ගමකට ගිහිං මෙවැනි සායනයක් පැවැත්වූවාට පස්සේ, වෛද්‍යවරුන් අපිට කියලා තියනවා ඒ ගමෙන් භාහිර රෝගී අංශවලට එන රෝගීන් ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා කියලා. වෛද්‍යවරු අපිට ප්‍රශංසා කරලා තියනවා, වෙන කිසි දෙයක් නැතත් පණු ඛෙහෙත් ටික දෙන්න පුළුවන් වීමම විශාල සමාජ සත්කාරයක් වෙනවා කියලා.”

මේ අතර, 2020 වසර වන විට අම්පාර දිස්ත්‍රික්කයේ සියලූ දෙනාගේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද දයා ගමගේ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment